දෙස් විදෙස් සංචාරකයන් අතර අතිශය ප්‍රසිද්ධ ඓතිහාසික නුවරඑළිය රෝස තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලේ සවිකර තිබූ බහුකෝටි වටිනාකමකින් යුත් පෞරාණික අකුණු සන්නායකය අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලට නුවරඑළිය පොලිසිය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට නුවරඑළිය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි. ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංවිධානයේ ගයාන් චතුරංග විජයබණ්ඩාර සහ නාලක දිනේෂ් රත්නායක යන මහත්වරුන් කියා සිටියේ මෙම විමර්ශන යටපත් කිරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවට තමන් සැක කරන බවයි.
ප්‍රකාශකයන් පෙන්වා දෙන පරිදි, 2007 පෙබරවාරි 23 දිනැති ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යාත්මක ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම ගොඩනැඟිල්ලේ අකුණු සන්නායකයට හානි සිදුකර, එහි තඹ පටිය කපා එය අස්ථානගත කර ඇති බවට නුවරඑළිය තැපැල් ස්ථානාධිපතිවරිය විසින් ඉකුත් අප්‍රේල් 10 වැනිදා පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද අප්‍රේල් 29 වැනිදා ලිපියක් මඟින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇතත්, මේ වනතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ කරුණු අධිකරණයට වාර්තා කිරීමට පොලිසිය අපොහොසත් වී ඇතැයි ඔවුහු පවසති. කෝටි සිය ගණනක් වටිනා මෙම පෞරාණික දේපළ මහදවාලේ කොල්ලකෑම පිළිබඳ පරීක්ෂණ පැහැර හැරීම දැඩි සාපරාධී ක්‍රියාවක් බවත්, අවසානයේදී මීට පෙර සිදු වූ ඇතැම් මූල්‍ය වංචාවලදී මෙන් “සල්ලි හැකර්ලා ගත්තා” වැනි පදනම් විරහිත ප්‍රකාශ සිදු නොකරන ලෙසත් ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉඳුනිල් ප්‍රේමලාල් මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ අදාළ පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු නිසි පරිදි සිදුවන බවයි. මේ වන විටත් සිද්ධියට අදාළව පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශ (කට උත්තර) සටහන් කරගෙන ඇති බවත්, විමර්ශන මට්ටමින් පවතින බැවින් එම තොරතුරු මාධ්‍යයට නිරාවරණය කළ නොහැකි වුවද ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














