වර්තමාන දේශපාලන ලෝකය පිළිබඳව තමන් වහන්සේ තුළ පවතින්නේ දැඩි කලකිරීමක් බවත්, ශ්‍රී ලංකාව තුළ ප්‍රතිපත්තිගරුක නායකත්වයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව වත්මන් සමාජය තුළ දැඩිව මතුව ඇති බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ මීගමුව, පිටිපන මහා විද්‍යාලයට වසර 125ක් පිරීම නිමිත්තෙන් පැවැති විශේෂ සැමරුම් උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අගරදගුරුතුමන් පෙන්වා දුන්නේ, ඇතැම් දේශපාලනඥයන් කටුස්සන් මෙන් තමන්ගේ වාසියට පාට මාරු කරමින්, අවස්ථාවාදී ලෙස මතයන් වෙනස් කරන බවයි. දේශපාලකයන් අද එකක් පවසා හෙට ඊට හාත්පසින්ම වෙනස් දෙයක් සිදු කරන බවත්, එවැනි දෙබඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන නායකයන් පිළිබඳව තමන් වහන්සේට මේ වන විට මුළුමනින්ම තිත්ත වී ඇති බවත් උන්වහන්සේ ඉතා සංවේදීව ප්‍රකාශ කළහ.
දිගින් දිගටම බොරු කීම, එකිනෙකාට මඩ ගැසීම සහ සමාජය සදාචාරාත්මකව අපිරිසිදු කරන චරිත හේතුවෙන් රටේ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම විනාශ වී ඇති බව පැවසූ කාදිනල් හිමිපාණන්, රටේ අනාගතය වෙනුවෙන් වත්මන් තාරුණ්‍යය මීට වඩා බුද්ධිමත් විය යුතු බව ද සිහිපත් කළහ. ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය වන්නේ වැරැද්ද වැරැද්ද ලෙස ඍජුව දැකිය හැකි, යුක්තිගරුක සහ ප්‍රතිපත්තිගරුක නායකත්වයක් පමණක් බව අවධාරණය කරමින් කාදිනල් හිමිපාණෝ සිය විශේෂ දේශනය අවසන් කළහ.















