ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තදින්ම අවප්‍රමාණය වීම (කඩා වැටීම) හේතුවෙන් මෙරට වෙළඳපොළේ පවතින සියලුම වර්ගයේ ජංගම දුරකථන සහ ඒවායේ උපාංගවල (Accessories) මිල ගණන් ඉදිරියේදී සීඝ්‍රයෙන් ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය නිවේදනය කරයි.
වත්මන් ආර්ථික සහ මූල්‍ය වටපිටාව පිළිබඳව අදහස් දක්වමින් එම සංගමය පෙන්වා දෙන්නේ, පවතින මෙම බරපතල තත්ත්වය හමුවේ ඉදිරි දිනවලදී ජංගම දුරකථන මෙන්ම ඒවාට අදාළ උපාංගවල මිල ගණන් සියයට 20ත් 25ත් අතර (20%-25%) ඉහළ ප්‍රතිශතයකින් මිල ඉහළ යනු ඇති බවයි. රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ආනයන පිරිවැය අධික ලෙස ඉහළ යාම මීට ඍජුවම බලපා ඇති බව ද වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.













