ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පාලනයකින් තොරව සීඝ්‍රයෙන් පහත වැටීම සම්බන්ධයෙන් වත්මන් රජයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය (UNP) නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැඩි ප්‍රශ්න කිරීමක නිරත වෙයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට මාස 20කට පෙර වත්මන් රජය වෙත රට බාරදෙන අවස්ථාවේදී ඩොලරයක අගය රුපියල් 292ක්ව පැවති නමුත්, පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැතිකම සහ විදේශ සංචිත ඉහළ නැංවීමට රජය අපොහොසත් වීම නිසා අද වන විට ඩොලරයේ අගය රුපියල් 354 දක්වා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව එම පක්ෂය පෙන්වා දෙයි.
දේශීය හා ජාත්‍යන්තර මූල්‍ය පීඩනය හමුවේ රුපියල තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි පෞද්ගලික අංශය දැඩි කනස්සල්ල පළ කර සිටී. මේ හේතුවෙන් ඇතැම් අපනයන කර්මාන්ත ඉහළ ලාභාංශ ලැබුව ද, ජීවන වියදම දැඩි ලෙස ඉහළ යාම නිසා සාමාන්‍ය ජනතාව සහ සේවකයින් දැඩි පීඩාවකට පත්වන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. විශේෂයෙන්ම, යුරෝපීය වෙළඳපොළ හැකිලීම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) යටතේ ඇමරිකාවේ අවධානය ඉරාන න්‍යෂ්ටික අර්බුදය වෙත යොමුව තිබීම මෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය සහ රතු මුහුදේ ප්‍රහාර හේතුවෙන් නැව්ගත කිරීමේ පිරිවැය ඉහළ යාම ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සුබදායී නොවන බව ද එහි සඳහන් වේ.
රටේ පවතින මෙම බරපතල තත්ත්වය වසන් කරමින්, අවප්‍රමාණය වන මුදල් ඒකකය ධනාත්මක එකක් ලෙස පෙන්වන ලෙස අමාත්‍ය අනිල් ජයන්ත මහතා විවිධ සංවිධාන දිරිමත් කර ඇති බවත්, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) ද ඊට එකඟ වෙමින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් UNPය චෝදනා කරයි. ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස යන හිටපු ජනාධිපතිවරුන් විසින් මහජන යහපත උදෙසා මෙරට ගොඩනැඟූ ඇඟලුම් කර්මාන්තය, අද වන විට සාමාන්‍ය ජනතාවගේ දුෂ්කරතා නොසලකා හරිමින් හුදෙක් ලාභාංශ වැඩි කරගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම කණගාටුවට කරුණක් බව පවසන එක්සත් ජාතික පක්ෂය, වර්ධනය වන ආර්ථික බර සේවකයින් මත පැටවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටී.














