ලොව පුරා මිනිස් පරිකල්පනයේ සහ අභිලාෂයේ විශිෂ්ටතම සංකේතයක් ලෙස සැලකෙන ඊජිප්තුවේ ගීසා හි පිහිටි ‘මහා පිරමිඩය’ (Great Pyramid of Giza) වසර දහස් ගණනක් පුරා විනාශ නොවී නොසැලී පැවතීමට බලපෑ ප්‍රධානතම රහසක් අනාවරණ කරගැනීමට පර්යේෂකයින් සමත්ව ඇත. මීට වසර 4,600කට පමණ පෙර පැරණි ඊජිප්තු රාජධානි සමයේ ‘කුෆු’ (Khufu) පාරාවෝ රජුගේ සොහොන් ගැබ ලෙස ඉදිකරන ලද මෙම පිරමිඩය, ප්‍රබල භූමිකම්පාවලින් පිටවන විනාශකාරී ශක්තියට සාර්ථකව ඔරොත්තු දිය හැකි සුවිශේෂී ව්‍යුහාත්මක ලක්ෂණවලින් යුක්තව නිර්මාණය කර ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
පර්යේෂකයන් කණ්ඩායමක් විසින් පිරමිඩය ඇතුළත සහ ඒ අවට ස්ථාන 37ක ‘සීස්මෝමීටර’ (Seismometers) නමැති භූකම්පන මාන උපකරණ සවිකර, ස්වභාවික බලවේග සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පොළොව අභ්‍යන්තරයෙන් නිරන්තරයෙන් ජනනය වන සූක්ෂ්ම කම්පන (Ambient vibrations) පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී හෙළි වී ඇත්තේ පිරමිඩයේ අතිදැවැන්ත ප්‍රමාණය සහ සංකීර්ණ ව්‍යුහය මධ්‍යයේ වුවද, මෙම බාහිර කම්පන උරාගනිමින් මුළු පිරමිඩයම ඉතා ඒකාකාරී මෙන්ම අතිශය ස්ථාවර ප්‍රතිචාරයක් (Stable structural response) දක්වන බවයි. වෙනත් ප්‍රබල ගොඩනැගිලි පවා බිමට සමතලා කළ භූමිකම්පාවලට පිරමිඩය මෙලෙස ඔරොත්තු දී ඇත්තේ මෙම ඉංජිනේරුමය ආශ්චර්යය නිසාය.
ඊජිප්තු අගනුවර වන කයිරෝ නුවරට නුදුරින් පිහිටි මෙම මහා පිරමිඩයේ පාදමෙහි සෑම පැත්තක්ම අඩි 755ක් (මීටර් 230ක්) දිගු වන අතර එය අක්කර 13ක දැවැන්ත භූමි ප්‍රදේශයක් පුරා විහිදී පවතී. අතිදැවැන්ත හුණුගල් කුට්ටිවලින් (Limestone blocks) නිර්මාණය කර ඇති මෙහි මුල් උස අඩි 480ක් (මීටර් 147ක්) වූ අතර, වසර දහස් ගණනක් පුරා සිදු වූ ස්වභාවික ඛාදනය සහ එහි බාහිරින් තිබූ සිනිඳු ආවරණ ගල් වෙනත් ගොඩනැගිලි සඳහා ගලවා ගැනීම නිසා වර්තමානයේ එහි උස අඩි 455ක් (මීටර් 138.5ක්) පමණ වේ. මෙම මහා පිරමිඩය වසර 3,800ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ ලොව පැවති උසම මිනිස් නිර්මාණය ලෙස ද වාර්තාවට හිමිකම් කීවේය.















