ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, පාස්කු ප්‍රහාරයට පෙර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටි සමයේ තමා ඔහුගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාරයට ගිය බවයි. තම නිල ‘X’ ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව තහවුරු කර ඇත.
නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයට අනුව, තමා පිල්ලෙයාන් බැලීමට ගිය බව රහසක් නොවන බවත්, එම පැමිණීම් පිළිබඳ බන්ධනාගාර වාර්තා ඕනෑම අවස්ථාවක පරීක්ෂා කර තහවුරු කරගත හැකි බවත් ඔහු පවසයි.
එම වකවානුවේදී පිල්ලෙයාන් 2015 ජනාධිපතිවරණයට සහ 2018 පළාත් පාලන මැතිවරණයට තරග කරමින් තමන් නියෝජනය කරන සන්ධානයේ පාර්ශ්වකරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු බව ඔහු සිහිපත් කරයි.
එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සඳහන් කරමින්, එම විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රංශය දක්වා ගමන් කර ඇති බවත් ඔහු සිය පණිවිඩය මගින් පෙන්වා දෙයි.















