ජාතික කලාභවනේ තැන්පත් කර තිබූ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වසරේදී ජාතික කලාභවනේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම අතුරුදන් වීම පිළිබඳ තොරතුරු වාර්තා වී තිබුණද, මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් ගෙන නොතිබීම විශේෂත්වයකි.
කලාභවනේ ලොග් පොතෙහි සටහන්ව ඇති මුළු සිතුවම් සංඛ්‍යාව 281ක් වුවද, මේ වන විට එහි ඉතිරිව ඇත්තේ සිතුවම් 239ක් පමණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දැනට වසා දමා ඇති ජාතික කලාභවන මෙම වසරේ දෙසැම්බර් මස අවසානයට පෙර විවෘත කිරීමට සැලසුම් කර ඇත. ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීම සඳහා ජෝන් ද සිල්වා සමරු රඟහලේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වෙන් කර තිබූ ප්‍රතිපාදන යෙදවීමට ද තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.














