ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං (Air Chief Marshal Amar Preet Singh) මහතා ඊයේ (21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා හමුවී තිබේ.
නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා, බටහිර නාවික විධානයේ ආඥාපතිවරයා විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගත් අතර ඉන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් ද පිරිනමනු ලැබීය. උත්තමාචාරයෙන් පසු නාවික හමුදාධිපතිවරයා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මණ්ඩලය ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා වෙත හඳුන්වා දීමට කටයුතු කළේය.
හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම නිල සාකච්ඡාවේදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිවරයා අතර ද්විපාර්ශවීය ආරක්ෂක සහයෝගීතාව සහ කලාපීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනුණි. මෙම සුවිශේෂී නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද මෙහිදී සිදු විය.














