නැගෙනහිර යුක්රේනයේ රුසියානු පාලනය යටතේ පවතින ලුහාන්ස්ක් (Luhansk) කලාපයේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයකට යුක්රේනය විසින් එල්ල කරන ලද රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් තවත් ළමුන් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීන් ප්‍රකාශ කරයි.
ලුහාන්ස්ක් අධ්‍යාපනික විශ්වවිද්‍යාලයට අනුබද්ධ ‘ස්ටාරොබිල්ස්ක්’ (Starobilsk) විද්‍යාලයේ නේවාසිකාගාරයට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. රුසියාවේ මානව හිමිකම් කොමසාරිස් යානා ලැන්ට්‍රටෝවා (Yana Lantratova) මහත්මිය සඳහන් කළේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී වයස අවුරුදු 14ත් 18ත් අතර පසුවන නව යොවුන් වියේ පසුවන සිසුන් 86 දෙනෙකු එහි නින්දේ පසුවී ඇති බවයි.
ප්‍රහාරයෙන් පසු සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර, එහි තවදුරටත් සිරවී සිටින දරුවන් සෙවීම සඳහා සහන සේවකයින් තවදුරටත් මෙහෙයුම් දියත් කරන බව ලුහාන්ස්ක් කලාපයේ රුසියානු පාලක ලියොනිඩ් පසෙච්නික් (Leonid Pasechnik) මහතා පැවසීය. ක්‍රෙම්ලින් මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ කළේ මෙය දරුවන් සහ තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් අධ්‍යාපන ආයතනයකට එල්ල කළ අතිශය සාපරාධී ම්ලේච්ඡ ක්‍රියාවක් වන බැවින් මීට වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවයි.
කෙසේ වුවද, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේන පාර්ශවයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් වී නොමැති අතර, දෙපාර්ශවයම සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. වසර 2022දී රුසියාව විසින් තම රටට අයත් බවට ඒකපාර්ශවීයව ප්‍රකාශ කරන ලද නැගෙනහිර කලාප හතරෙන් එකක් වන ලුහාන්ස්ක් ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීමට යුක්රේනය දිගින් දිගටම සටන් වදිමින් සිටියි.














