ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය උච්චාවචනය වීම සහ එහි ඉදිරි හැසිරීම තීරණය කළ හැක්කේ ඉදිරි සති දෙක තුළ සිදුවන දේශීය හා ගෝලීය මූල්‍ය සිදුවීම් මත බව ප්‍රකට ආර්ථික විශ්ලේෂක ඉම්රාන් ෆුර්කන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපයේ පවතින ඉරාන සහ ඇමෙරිකානු ගැටුම්කාරී වාතාවරණය සමනය වී දීර්ඝ සටන් විරාමයක් ඇති වුවහොත්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටීමත් සමඟ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වීමේ ඉඩකඩ පවතින බවයි. කෙසේ වෙතත්, ඊට පෙර දිනට සාපේක්ෂව පසුගිය 22 වැනිදා රුපියල එකවර ශත 86 කින් ශක්තිමත් වීම යම් තාක් දුරකට අස්වාභාවික තත්ත්වයක් බව ද හෙතෙම සඳහන් කළේය.
පසුගිය මැයි 21 වැනිදා ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 354.3 ක් ලෙස දැක්වුණු අතර, 22 වැනිදා වන විට එය රුපියල් 353.17 ක් දක්වා පහත වැටී තිබුණි. මෙම පසුබිම තුළ ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු දේශීය පුද්ගලික වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අගයටත් වඩා වැඩි වේගයකින් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය විය. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) මහතා ප්‍රකාශ කර ඇත්තේ මෑතකාලීන ගෝලීය දේශපාලන හා ආර්ථික වර්ධනයන් හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නව පීඩනයක් එල්ල වී ඇති අතර, එම බලපෑම මඟහරවා ගැනීම සරල කාරණයක් නොවන බවයි. නමුත් වත්මන් ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව අතීතයට වඩා බෙහෙවින් ශක්තිමත් මට්ටමක පවතින බව ද ඔහු පැවසීය.
ඉදිරි දින කිහිපය තුළ රුපියලේ අගයට සෘජුවම බලපාන ප්‍රධාන තීරණ දෙකක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. ඉන් පළමුවැන්න වන්නේ මැයි 26 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කිරීමට නියමිත මුදල් ප්‍රතිපත්ති විවරණය (Monetary Policy Review) පිළිබඳ තීරණයයි. දෙවැන්න, විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ පස්වැනි සහ හයවැනි ඒකාබද්ධ සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් මැයි 27 වැනිදා පවත්වන විශේෂ සාකච්ඡාවයි. මෙම තීරණාත්මක මූල්‍ය කාරණාත් සමඟ ඉදිරි සති දෙකක කාලය මෙරට විදේශ විනිමය වෙළෙඳපොළේ ස්ථාවරත්වයට දැඩි ලෙස බලපානු ඇත.














