මොනරාගල පොලිස් වසමට අයත් මිල්ල කැලේවත්ත, පාලාරුව ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රි කාලයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙලෙස සන්නද්ධ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොනරාගල, බිබිල පාර, මිල්ල කැලේවත්ත ලිපිනයේ පදිංචිව සිටි උලගනාදන් දිලීප් මදුශංක නමැති 28 හැවිරිදි තරුණයෙකි. පුද්ගලික ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා වහාම මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ. මෙම ගැටුමේදී ප්‍රහාරය එල්ල කළ සැකකරු ද බරපතල තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. ඝාතනයට හේතුව සහ සිද්ධියට සම්බන්ධ වෙනත් පාර්ශවයන් සිටීද යන්න අනාවරණය කර ගැනීම සඳහා මොනරාගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.














