ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සහ පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් සියලුම රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිත කිරීම එළැඹෙන මැයි 31 වනදා සිට සම්පූර්ණයෙන් තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. පරිසර අමාත්‍යාංශයේ එකඟතාව මත නිකුත් කර ඇති මෙම විශේෂ චක්‍රලේඛය පසුගිය මැයි 15 වැනිදා සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කරමින් මේ පිළිබඳව දැනුවත් කර තිබේ.
මීට පෙර 2023 වසරේ නිකුත් කරන ලද අංක 2341/30 සහ අංක 2034/37 දරන අති විශේෂ ගැසට් පත්‍ර මඟින් තනි භාවිත බීම බට, කලතන, ප්ලාස්ටික් ආහාර බහාලුම්, පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, මල් මාලා, ඉඳි ආප්ප වට්ටි මෙන්ම උත්සව සැරසිලි සඳහා පොලිතින් සහ පොලිප්‍රොපිලින් භාවිතය දැනටමත් තහනම් කර ඇත. රාජ්‍ය ආයතන තුළ මෙම නීති නිසි පරිදි ක්‍රියාත්මක වන බව සහතික කිරීමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබේ. ප්ලාස්ටික් සහ පොලිතින් අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා ඇළ දොළ ගංගා අපවිත්‍ර වීම, සතුන් මියයාම, මයික්‍රො ප්ලාස්ටික් (Microplastics) ශරීරගත වීම සහ මේවා විවෘත පරිසරයේ දහනය කිරීමෙන් පිටවන විෂ වායු නිසා මිනිසාට බරපතළ සෞඛ්‍ය සංකූලතා ඇතිවීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත.
මේ අතර, එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් පහන් කූඩු, සැරසිලි සහ දන්සැල් කටයුතුවලදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් මුළුමනින්ම වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ද මහජනතාවගෙන් සහ දන්සැල් සංවිධායකවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. මිනිසා, සතුන් ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියම රැකගැනීම වෙනුවෙන් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට සහය දෙන ලෙස රජය සිහිපත් කර සිටියි.














