ගෝලීය වශයෙන් තාක්ෂණික ක්ෂේත්‍රයේ පවතින ඇමරිකා-චීන දේශපාලන නොසන්සුන්තාවය හමුවේ වුවද, මධ්‍යම සැකසුම් ඒකක (CPU) සඳහා ඉදිරියේදී නිර්මාණය වන ඇමරිකානු ඩොලර් බිලියන 200ක දැවැන්ත වෙළෙඳපොළ පුරෝකථනය සඳහා චීනය ද ඇතුළත් වන බව Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාන්ග් (Jensen Huang) මහතා සෙනසුරාදා (අද) තහවුරු කළේය. ස්වාධීන කාර්යයන් තනිවම කළ හැකි ‘නියෝජිත කෘත්‍රිම බුද්ධි’ (Agentic AI) පද්ධති වෙත ලොව පුරා ව්‍යාපාර නැඹුරු වීමත් සමඟ, මහා පරිමාණ AI මාදිලි පුහුණු කිරීමට ගන්නා ග්‍රැෆික් සැකසුම් ඒකක (GPU) මෙන්ම CPU සඳහා ද පවතින ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
තායිවානයේ තායිපේ (Taipei) නුවර සොන්ග්ෂාන් ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හුවාන්ග් මහතා කියා සිටියේ, Nvidia සමාගම හඳුන්වා දුන් නවතම ‘වේරා’ (Vera) සෙන්ට්‍රල් ප්‍රොසෙසර්ස් (CPUs) හරහා නිර්මාණය වන මෙම බිලියන 200ක වෙළෙඳපොළට චීනය ද අයත් වන බවයි. සිය ප්‍රමුඛතම AI චිප්ස් (Chips) අලෙවියෙන් ඩොලර් ට්‍රිලියන 1ක වාර්තාගත ආදායමක් අපේක්ෂා කරන Nvidia සමාගමට, චීන වෙළෙඳපොළ ඉතා විශාල මෙන්ම අතිශය වැදගත් එකක් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ලබන මාසයේ පැවැත්වීමට නියමිත සුප්‍රසිද්ධ ‘Computex’ තාක්ෂණික ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා හුවාන්ග් මහතා මෙලෙස තායිවානයට පැමිණ ඇති අතර, එහිදී ලොව විශාලතම චිප් නිෂ්පාදකයා වන TSMC සමාගමේ ප්‍රධානීන් ද හමුවීමට නියමිතය.
කෙසේ වෙතත්, Nvidia සමාගමේ දෙවැනි පරම්පරාවේ ප්‍රබලතම AI චිපය වන ‘H200’ චීනය වෙත අපනයනය කිරීම සඳහා ඇමරිකානු රජයෙන් අවසර (Licenses) හිමිවී තිබුණද, දේශීය චිප් නිෂ්පාදකයන් දිරිමත් කරන චීන රජයේ බලධාරීන්ගෙන් ඊට මෙතෙක් නිල අනුමැතිය හිමිවී නොමැත. මේ මස මුලදී ඇමරිකානු ජනාධිපති ඩොල්න්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර බීජිං නුවර පැවැති නිල සාකච්ඡාවලට ඇමරිකානු දූත පිරිසේ සාමාජිකයෙකු ලෙස ජෙන්සන් හුවාන්ග් ද සහභාගී වූ නමුත්, චීනයට H200 චිප්ස් විකිණීම සම්බන්ධයෙන් එහිදී ක්ෂණික එකඟතාවයකට පැමිණීමට දෙරට අසමත් විය. චීන සමාගම් 10කට පමණ මෙම චිප් මිලදී ගැනීමට ඇමරිකාව අවසර දී තිබුණද, චීන රජයේ අනුමැතිය ප්‍රමාද වීම නිසා මෙතෙක් කිසිදු චිප් තොගයක් චීනය වෙත නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















