රට මුහුණ දී සිටින දැඩි ආර්ථික හා සමාජීය අභියෝග මධ්‍යයේ වුවද, තම දරුවන්ගේ අවශ්‍යතාවලට මුල්තැන දීමේ වගකීම දෙමාපියන් විසින් පැහැර නොහැරිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දරුවන්ගේ නිසි පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම වෙනුවෙන් ළමා අයිතිවාසිකම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් රාමුවට (Fundamental Rights) ඇතුළත් කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. කුලියාපිටිය නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
කුලියාපිටිය නගරයේ පෙරපාසල් 11ක දරුවන් 550 දෙනෙකු සඳහා පාසල් බෑග් බෙදාදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේ, පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් සහ දිවා ආහාරය ඇතුළත් ළමා පෝෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මෙරට මුලින්ම ආරම්භ කළේ ආර්. ප්‍රේමදාස මහතා විසින් බවයි. වත්මන් දැඩි ආර්ථික අපහසුතා හමුවේ අවම වශයෙන් සියලුම පෙරපාසල් දරුවන් සඳහා හෝ විධිමත් පෝෂණ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ දැනට පවතින්නේ පළාතෙන් පළාතට විෂයමාලා වෙනස් වන අවිධිමත් මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගත් ජාත්‍යන්තර “K to 12” (Kindergarten to Grade 12) සංකල්පයට අනුව මුල් ළමාවිය සිට 12 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ක්‍රමය ව්‍යූහාත්මකව ශක්තිමත් කළ යුතු බව ප්‍රකාශ කළේය. දේශයේ අනාගතය වෙනුවෙන් දරුවන්ට ආදරය, රැකවරණය සහ උපරිම ආරක්ෂාව සැපයීමට සෑම දෙනාම කැපවිය යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.













