ගූගල් (Google) සමාගම විසින් පවත්වන ලද ‘Google I/O 2026’ සමුළුවේදී ඔවුන්ගේ නවතම සහ ප්‍රධානතම කෘත්‍රිම බුද්ධි (AI) මාදිලිය වන Gemini 3.5 Flash නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. තාක්ෂණික වාර්තාවලට අනුව, මෙම නව මාදිලිය සරල ප්‍රශ්නෝත්තර රටාවෙන් ඔබ්බට ගොස් සංකීර්ණ කේතකරණය (Coding), දීර්ඝ තර්කනය (Long-form reasoning), බහුමාධ්‍ය අවබෝධය (Multimodal understanding) සහ සමාන්තර කාර්යයන් (Parallel tasks) එකවර හැසිරවීම සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇත. විදේශීය මාධ්‍ය ආයතන විසින් මෙම Gemini 3.5 Flash මාදිලිය සැබෑ ලෝකයේ ප්‍රායෝගික භාවිතයන් 5ක් ඔස්සේ පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී සුවිශේෂී ප්‍රතිඵල රැසක් අනාවරණය කර ගැනීමට සමත් වී තිබේ.
සංකීර්ණ කේතකරණය සහ දත්ත විශ්ලේෂණයේදී, අභ්‍යවකාශ සුන්බුන් (Space debris) පිළිබඳ පාරිසරික වාර්තාවක් විශ්ලේෂණය කර, පරිශීලකයාට අවශ්‍ය පරිදි කොන්දේසි වෙනස් කරමින් ප්‍රතිඵල නිරීක්ෂණය කළ හැකි සජීවී සිමියුලේටර් කේතයක් (Simulator code) නිර්මාණය කිරීමට මෙය සමත් වී ඇත. එමෙන්ම සංචාරක සැලසුම්කරණයේදී (Itinerary Design) දින 4ක සංචාරක සැලසුමක් සකස් කිරීමේදී, මාර්ග තදබදය, කාලය වෙන්කිරීම සහ කාලගුණික වෙනස්වීම් (වැසි දින විකල්ප) පවා සැලකිල්ලට ගනිමින් ඉතා ක්‍රමවත් සහ අඛණ්ඩ සැලසුමක් සැපයීමට එයට හැකි වී තිබේ.
පියවරෙන් පියවර උපදෙස් මාලා සකස් කිරීමේදී ද සුවිශේෂී දක්ෂතාවක් පෙන්වන මෙම මාදිලිය, නිවසේදීම පොත් බැඳීමේ (Notebook binding) කටයුත්තක් සරලව සිදුකරන ආකාරය, අත්‍යවශ්‍ය පියවර සහ වියළීමට ගතවන කාලය පවා ඇතුළත් කරමින් තාක්ෂණික නොවන සරල උපදෙස් මාලාවක් ලෙස සැකසීමට සමත් වී ඇත. ඡායාරූප මත පදනම් වූ තර්කනයේදී (Visual Reasoning) අවුල් සහගත ලෙස පවතින කාමරයක ඡායාරූපයක් ලබා දී විනාඩි 25ක පිරිසිදු කිරීමේ සැලසුමක් ඉල්ලා සිටි විට, “පළමුව බැලූ බැල්මට පෙනෙන දේ අස් කරන්න, කාලය මදි නම් ලාච්චු ඇතුළත පිරිසිදු කිරීමට කාලය නාස්ති කරන්න එපා” වැනි ප්‍රායෝගික උපායමාර්ගික උපදෙස් ලබා දීමට එය සමත් විය. තවද, සමාන්තර තර්කනයේදී (Parallel Reasoning) එකිනෙකට වෙනස් උපකල්පන කිහිපයක් ඔස්සේ පරිසර ඉඟි, සමාජ හැසිරීම් සහ පුද්ගල ක්‍රියාකාරකම් එකවර විශ්ලේෂණය කරමින් තීරණාත්මක නිගමනවලට පැමිණීමේ හැකියාවද තහවුරු කර ඇත.














