රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට විසඳුම් සෙවීම සහ විදේශීය මුදල් සංචිත ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුව තිබේ. එහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, වත්මන් තත්ත්වය හමුවේ විදේශ මුදල් පරිහරණය ඉතාමත් වගකීම් සහගත සහ ක්‍රමවත් කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බවයි.
ආනයන මත බෙහෙවින් යැපෙන ශ්‍රී ලංකාව වැනි රටකට විදේශ විනිමය සුරක්ෂිත කරගැනීම අතිශය අභියෝගාත්මක කාර්යයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සීමා කිරීමට සිදුවන බව ප්‍රකාශ කළේය. එක් පුද්ගලයකුට අත්‍යවශ්‍ය නොවන යමක් තවත් කෙනෙකුට අත්‍යවශ්‍ය විය හැකි බැවින්, සීමා පැනවීමේදී ඉතා සූක්ෂ්මව සිතා බැලිය යුතු බවද ඔහු පැවසීය.
රටේ සමස්ත ඩොලර් සංචිතයෙන් වැඩිම කොටසක් වැයවන්නේ ඉන්ධන සහ මෝටර් රථ වාහන ආනයනය සඳහාය. ඉන්ධන ආනයනය නතර කිරීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බැවින්, පියවරක් ලෙස වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. කෙසේ වුවද, එය සහමුලින්ම තහනම් කළහොත් යළි හිස ඔසවමින් පවතින වාහන වෙළෙඳපොළ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතින බැවින්, මීට විකල්ප සහ සාධාරණ තීරණයකට එළඹිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, වාහන ආනයනය අධෛර්යමත් කිරීමේ අරමුණින් විශේෂ අධිභාරයක් (Surcharge) පැනවීමටත්, එම පියවර ඉදිරි මාස තුනක කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.














