මේ වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. යාපනය දිස්ත්‍රික්කයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, දිට්වා කුණාටුව හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවූ බලපෑම සහ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන් කිරීමට සිදුවීම නිසා මැතිවරණය සඳහා වෙන්ව තිබූ ප්‍රතිපාදන වෙනතකට යොමු කිරීමට සිදුවූ බවයි.
එමෙන්ම, මැතිවරණය පැවැත්විය යුතු නීතිමය රාමුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත් කර ඇති බවත්, එම වාර්තා ලැබීමෙන් පසු පැන නගින ගැටලු නොමැති නම් ලබන වසරේදී මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළා. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉන්දියාවෙන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත්, ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය මධ්‍යම රජය අතර ඉතා මිත්‍රශීලී සහ අවබෝධයෙන් යුත් සබඳතාවක් පවතින බවත් ටිල්වින් සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා. උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ජනතා බලගැන්වීමේ වැඩසටහන් පිළිබඳව ඉන්දීය පාර්ශ්වයට මනා අවබෝධයක් පවතින බව ද ඒ මහතා සඳහන් කළා.














