ශ්‍රී ලංකාව තුළ ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අලුතින් කොල්පොස්කොපි යන්ත්‍ර 18ක් රුපියල් මිලියන 114ක වියදමින් රාජ්‍ය රෝහල් පද්ධතියට එක් කිරීමට පියවර ගෙන තිබේ. මෙම නව යන්ත්‍ර පැමිණීමත් සමඟ රජයේ රෝහල්වල පවතින කොල්පොස්කොපි යන්ත්‍ර සංඛ්‍යාව 15 සිට 33 දක්වා ඉහළ යනු ඇති අතර එමගින් රට පුරා සිටින කාන්තාවන්ට මෙම වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා පහසුකම් ලබාගැනීමේ අවස්ථාව වඩාත් පුළුල් වේ. දැනටමත් අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර, ගම්පහ, මාතර, මොනරාගල, පුත්තලම සහ හම්බන්තොට යන ප්‍රධාන රෝහල්වල යන්ත්‍ර දොළහක් ස්ථාපනය කර අවසන් වන අතර ඉතිරි යන්ත්‍ර හය ජුනි මාසයේදී අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වවුනියාව යන රෝහල්වල සවිකිරීමට නියමිතයි. එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 6ක් පමණ වන අතර, වැඩසටහනේ කොටසක් ලෙස පැරණි යන්ත්‍ර පහක් ඉවත් කර අලුතින් යන්ත්‍ර සවිකිරීම ද සිදු කෙරේ. මෙරට කාන්තාවන් අතර පස්වන ස්ථානයට බහුලව දක්නට ලැබෙන ගැබ්ගෙල පිළිකා කලින් හඳුනා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන අතර මානව පැපිලෝමා වයිරසය (HPV) මගින් ඇතිවන මෙම රෝගය පූර්ව පිළිකා අවස්ථාවේදී හඳුනා ගතහොත් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව අලුතින් ගැබ්ගෙල පිළිකා රෝගීන් 1,200ක් පමණ වාර්තා වන අතර නිසි ප්‍රතිකාර නොමැතිකම නිසා වසරකට කාන්තාවන් 180ක් පමණ ජීවිතක්ෂයට පත්වන බැවින් මෙම නවීන උපකරණ ශ්‍රී ලංකාවේ කාන්තා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.














