නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වයත් සමඟ එළැඹෙන මැයි 26, 27 සහ 28 යන දිනවලදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට ලැබෙන වැසි තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පසුගිය දිනවල පැවති තද වැසි හේතුවෙන් ඉහළ ගිය ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය අතට හැරෙමින් තිබුණද, කළු ගඟේ මිල්ලකන්ද සහ පුටුපාවුල ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවමත් සුළු ගංවතුර තත්ත්වයක හෝ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී. අත්තනගලු ඔයේ ජල මට්ටම ද පහළ යමින් පැවතියද, දූනමලේ අවට ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ජා ඇළ ප්‍රදේශයේ නිවාස සහ මාර්ග රැසක් තවමත් ජලයෙන් යටව පවතින අතර, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පැති බැමි පිළිසකර නොකිරීම සහ පාලම් කැඩී යාම වැනි කරුණු හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත අනුව දිස්ත්‍රික්ක 8ක පුද්ගලයින් 28,933 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, පවුල් 491කට අයත් පිරිසක් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටියි. ඉදිරි දිනවලදී නැවත වර්ෂාපතනය වැඩි විය හැකි බැවින් ආපදා තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














