ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතියේ (BESS) මූලික මෙගාවොට් 20ක ධාරිතාව කොළඹ වරාය වෙත ළඟා වී තිබේ. මෙම ව්‍යාපෘතිය හුදෙක් එක් ස්ථානයකට පමණක් සීමා නොවී, ජාතික විදුලිබල පද්ධතිය පුරා උපායමාර්ගිකව විහිදී යන පුළුල් ජාලයක ආරම්භය සනිටුහන් කරයි. මෙගාවොට් 10ක ධාරිතාවෙන් යුත් උප-ව්‍යාපෘති 16ක් දිවයිනේ ප්‍රධාන විදුලි උපපොළවල් ආශ්‍රිතව ස්ථාපිත කිරීමට නියමිත අතර, එහි පළමු කාණ්ඩය නව ගාල්ල සහ මාතර උපපොළවල් වෙත සම්බන්ධ කෙරේ.
මෙම නවීන තාක්ෂණය බස්නාහිර, දකුණු, මධ්‍යම, වයඹ, සබරගමුව, උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද යන සියලුම පළාත් ආවරණය වන පරිදි පන්නිපිටිය, හොරණ, කොස්ගම, පානදුර, අම්බලන්ගොඩ, හම්බන්තොට, කිරිබත්කුඹුර, කුරුණෑගල, බෝලවත්ත, මාදම්පේ, පන්නල, චුන්නාකම්, කිලිනොච්චි, අම්පාර, මහියංගනය සහ මොනරාගල යන ප්‍රදේශවල ස්ථාපිත වීමට නියමිතයි. දෙවන සහ තෙවන අදියර යටතේ තවත් මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් බැටරි ගබඩා පද්ධතීන් හඳුන්වා දීමට නියමිත අතර, ඒ සඳහා වන මිල ගණන් කැඳවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමට කටයුතු යොදා තිබේ. මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ බලශක්ති ස්ථාවරත්වය සහ පුනර්ජනනීය බලශක්ති කළමනාකරණය ඉහළ නැංවීමට විශාල පිටුබලයක් ලැබෙනු ඇත.














