නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය එක්ව සංවිධානය කළ “ගෝලීය සිලෝන් තේ සන්ධ්‍යාව” (Global Ceylon Tea Evening) පසුගිය 21 වන දා හේග් නුවරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. “තේ කර්මාන්තයේ තිරසාර බව සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම” යන තේමාව යටතේ පැවති මෙම උත්සවය මගින් පිරිසිදු සිලෝන් තේවල පවතින ගෝලීය උරුමය, තිරසාර බව සහ උසස් තත්ත්වය පිළිබඳව ලෝකයට පෙන්වා දෙනු ලැබුවා. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය කේ.වී. සාමන්ත විද්‍යාරත්න සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ආර්.කේ. ඔබේසේකර යන මහත්වරුන්ගේ දේශන ද මෙම අවස්ථාවට එක් වූ අතර, නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති රේඛා ගුණසේකර මහත්මිය සිය පිළිගැනීමේ දේශනය පවත්වමින් සිලෝන් තේවල පවතින සුවිශේෂී රසය, සුවඳ සහ නැවුම් බව හේතුවෙන් එය ලෝකයේ ඇති හොඳම තේ වර්ගයක් බව අවධාරණය කළා.
මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය යටතේ ලොව ප්‍රථම ඕසෝන් හිතකාමී තේ වර්ගය ලෙසත්, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය මගින් පිළිගත් ප්‍රථම සදාචාරාත්මක තේ සන්නාමය ලෙසත් සිලෝන් තේ ලෝකයේ කීර්තියක් අත්කරගෙන ඇති බව මෙහිදී වැඩිදුරටත් සිහිපත් කෙරුණා. පසුගිය වසරේ නෙදර්ලන්තය වෙත සිදුකළ සිලෝන් තේ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 21 ඉක්මවා තිබීම විශේෂත්වයක්. මෙම උත්සවයේදී තේ වෙළඳුන්, සෝමෙලියර්වරුන් සහ තේ ලෝලීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ වගා කලාප හතකින් ලබාගත් තේ වර්ගවල රස බැලීමේ විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වුණු අතර, මොනින් (MONIN) සන්නාම තානාපති එරික් බැලෙමා විසින් සිලෝන් තේ මගින් සකස් කළ විශේෂිත පානයන් (mocktails) හඳුන්වා දීම ද සිදු කෙරුණා. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය කෙටි ආහාර සමඟින් සිලෝන් තේවල අසිරිය විඳගැනීමට පැමිණි ආරාධිතයන්ට අවස්ථාව උදාවූ අතර, මෙම ප්‍රයත්නය හරහා නෙදර්ලන්තය තුළ ශ්‍රී ලාංකේය තේ කර්මාන්තයේ ගුණාත්මක බව සහ තිරසාර බව තවදුරටත් ප්‍රචලිත කෙරිණි.














