රට නැවතත් කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බැවින්, උද්ධච්ච නොවී කඩිනමින් අනුප්‍රාප්තික ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) ගිවිසුමකට එළඹෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් රජයෙන් අවධාරණය කර සිටී. සමගි ජන බලවේගයේ ගුරු සංගමය පිහිටුවීමේ මූලික සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ජනාධිපතිවරයා රටේ ගැටලු නොමැති බව පවසමින් රට තුළ ඩොලර් සංචිත ප්‍රමාණවත් බව පෙන්වීමට උත්සාහ දැරුවද, සංඛ්‍යාලේඛනවලට අනුව රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රටක මාස 3ක ආනයන වියදම ආවරණය කිරීමට ප්‍රමාණවත් සංචිත පැවතිය යුතු වුවත්, ශ්‍රී ලංකාවේ පවතින සංචිත ඒ සඳහා පවා ප්‍රමාණවත් නොවන බවත්, රටේ මාසික ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් වන බවත් ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.
එමෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය උත්සන්න වුවහොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමට ලක්වී විදේශ ප්‍රේෂණ බිලියන 8ක් දක්වා වර්ධනය වූ ආදායම් මාර්ගයට බරපතළ බලපෑමක් එල්ල විය හැකි බවත්, තෙල් මිල ඉහළ යාමකදී රටේ ආර්ථිකය තවදුරටත් කඩා වැටීමේ හැකියාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීය. රජය මෙම යථාර්ථය වටහාගෙන ජනතාවට සත්‍ය අවබෝධ කර දෙමින් ක්‍රියා කළ යුතු බව ඔහු අවධාරණය කළේය.














