දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. මෙම විශේෂ නිවේදනය අද (24) පෙරවරු 5.00 සිට හෙට (25) පෙරවරු 5.00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.
අදියර 2 (කහ පැහැති) – අවධානයෙන් සිටීමේ නිවේදන:
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබී ඇති බැවින්, නායයෑම් සහ පස් කන්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳව සලකා බලා ප්‍රදේශ කිහිපයක ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා තිබේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටියන්තොට යන ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් මෙම අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කර ඇත.
අදියර 1 (නිල් පැහැති) – විමසිලිමත්ව සිටීමේ නිවේදන:
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 60 ඉක්මවූ වැසි ලැබී ඇති බැවින්, ඉදිරි වර්ෂාපතනයත් සමඟ නායයෑම් ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වන ලෙස තවත් ප්‍රදේශ රැසකට දන්වා ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රදේශ ද, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශය ද, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මතුගම, ඉංගිරිය, බුලත්සිංහල, අගලවත්ත සහ හොරණ යන ප්‍රදේශ ද මීට ඇතුළත් වේ. මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද මෙම පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කඳුකර හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පොළොවේ ඇතිවන පැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම් සහ හදිසියේ උල්පත් මතු වීම් වැනි නායයෑම් පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසයි.













