මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් නිල වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව ප්‍රමාද වුව ද, ප්‍රමිතිය විකෘති කරන ලද විසිතුරු අංක තහඩු සවිකර රථවාහන ධාවනය කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
කෙසේ වෙතත්, පවතින ප්‍රායෝගික අපහසුතාව සැලකිල්ලට ගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශවලට අනුකූලව ‘A4’ ප්‍රමාණයේ සුදු කොළයක පැහැදිලිව මුද්‍රණය කරන ලද අංක තහඩුවක් වාහනයේ ප්‍රදර්ශනය කරමින් ධාවනය කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.
නිසි සැපයුම්කරුවෙකු නොමැති වීම හේතුවෙන් මාස 10ක පමණ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් නිල වාහන අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර වී තිබුණි. මේ හේතුවෙන් මේ වන විට මෙරට මුද්‍රණය කිරීමට ඇති සමස්ත අංක තහඩු සංඛ්‍යාව ලක්ෂ 4ක් පමණ වන බව වාර්තා වේ. කෙසේ වෙතත්, ලබන ජූනි මස 10 වැනිදා හෝ ඊට ප්‍රථම නැවතත් නිල වශයෙන් අංක තහඩු නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
නිල අංක තහඩු ලැබෙන තෙක් අලුතින් ලියාපදිංචි වන වාහන හිමියන් පිටස්තර වෙළෙඳසැල්වලින් විවිධ වර්ණ, ප්‍රමාණ සහ විසිතුරු හැඩතලවලින් යුතු ප්‍රමිතියෙන් තොර අංක තහඩු සවිකර ධාවනය කිරීම මේ වන විට සුලබ වී ඇත. මෝටර් රථ ප්‍රවාහන පනතට අනුව එවැනි විකෘති කරන ලද අංක තහඩු සහිත වාහන සඳහා පොලිසිය දිගින් දිගටම දඩ නියම කරන බැවින්, නිල තහඩු ලැබෙන තෙක් ‘A4’ කොළයක පමණක් අංකය ප්‍රදර්ශනය කරන ලෙස රථවාහන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.














