බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දකුණු හැරෝ (South Harrow) ප්‍රදේශයේදී ව්‍යාපාරික ස්ථානයක් මංකොල්ලකා පොලිසියෙන් බේරීම සඳහා අධික වේගයෙන් පලායමින් සිටි දෙමළ තරුණයන් තිදෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් ගසක හැපීමෙන් සිදු වූ දරුණු අනතුරකින්, ඒ අතර සිටි ශ්‍රී ලාංකික දෙමළ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථයේ ගමන් ගත් අනෙක් දෙදෙනා ඉන්දීය ජාතික දෙමළ තරුණයන් වන අතර, ඔවුන් බරපතළ තුවාල ලබා මේ වන විට හැරෝ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සහ කොල්ලකෑම පිළිබඳව හෙළි වී ඇති තොරතුරු මෙසේය:
ලුහුබැඳීම සහ මාරක අනතුර:
ඉකුත් 23 වැනිදා අලුයම් කාලයේදී මොවුන් තිදෙනා විසින් ව්‍යාපාරික ස්ථානයක් කොල්ලකා මෝටර් රථයකින් පලාගොස් තිබේ. එම ප්‍රදේශයේ මාර්ග පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම නිසා ඔවුන් මාර්ග නීති කඩ කරමින් ප්‍රතිවිරුද්ධ දිශාවට (Wrong side) රථය ධාවනය කර ඇත. ඒ අවස්ථාවේදී හැරෝ පොලිසිය රථය නැවැත්වීමට සංඥා කළ ද, එය නොතකා පලායාම නිසා පොලිස් රථයක් විසින් ඔවුන්ව ලුහුබැඳ තිබේ. එහිදී අධික වේගය හේතුවෙන් වාහනය පාලනය කරගත නොහැකිව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී ඇති අතර, රථය පදවාගෙන ගිය ශ්‍රී ලාංකික තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇත.
සැකකරුවන්ගේ පසුබිම සහ ව්‍යාපාරිකයාගේ පැමිණිල්ල:
මියගිය ශ්‍රී ලාංකික තරුණයා මීට වසර තුනකට පෙර මුලතිව් ප්‍රදේශයේ සිට ලන්ඩනය බලා ගිය අයෙකු බව හඳුනාගෙන තිබේ. ඔහු ලන්ඩන් නුවරදී, අනතුරින් තුවාල ලැබූ ඉන්දීය ජාතික තරුණයන් දෙදෙනා සමඟ එකම නේවාසිකාගාරයක නවාතැන් ගෙන ජීවත් වී ඇත. මෙම අනතුර සිදුවී පැයකට පමණ පසුව, කොල්ලකෑමට ලක්වූ ව්‍යාපාරික ආයතනයේ හිමිකරු විසින් මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු තම ආයතනය කොල්ලකෑ බවට පොලිසියට පැමිණිලි කර ඇති අතර, අනතුරට ලක්ව ඇත්තේ එම පිරිසම බව පසුව තහවුරු වී තිබේ.
ලන්ඩනයේ හැරෝ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














