ශ්‍රී ලංකාව සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, එම සංවිධානයේ මහලේකම් නුර්ලන් යෙර්මෙක්බායෙව් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වුණා. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම්වරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එම සංචාරය දෙපාර්ශවය අතර සහයෝගිතාව නව මාවතකට යොමු කිරීමට හේතු වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවලදී සංචාරක, ප්‍රවාහන, සැපයුම් සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සහයෝගිතාව වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරුණා. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මුලපිරීම්වලට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පෙන්වා දුන් ඇමැතිවරයා, රට ආයෝජන සහ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මහලේකම්වරයාගේ සහය ඉල්ලා සිටියා.
මහලේකම්වරයා මෙම සංචාරය අතරතුරදී සිවිල් ගුවන් සේවා ඇමැති අනුර කරුණාතිලක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත සහ සංචාරක නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන් සමඟ ද ද්විපාර්ශවිකව වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා.














