ජාතික කලා භවනේ තිබූ අගනා චිත්‍ර 42ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳව පසුගිය 21 වන දින පාර්ලිමේන්තුවේදී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් කරුණු හෙළි කිරීමත් සමඟ නැවතත් විමර්ශන උත්සන්න වී තිබෙනවා.
අස්ථානගත වූ චිත්‍ර අතර ’43 කණ්ඩායමේ’ ශිල්පීන්ගේ නිර්මාණ සහ ඩඩ්ලි සේනානායක මහතාගේ රුව සහිත චිත්‍ර දෙකක් ඇතුළු වටිනා නිර්මාණ කිහිපයක් පවතින බව හඳුනාගෙන තිබෙනවා. 2008 වසරේ මුද්‍රණය කළ ඇල්බමයකට අනුව මෙම චිත්‍ර 42න් 14ක් පහසුවෙන් හඳුනාගත හැකි වුවත්, ඉතිරි 28 පිළිබඳව කිසිදු නිල තොරතුරක් කලා භවනේ ලේඛනවල නොමැති වීම බරපතල ගැටලුවක් වී තිබෙනවා. 1987 වසරේ තොග භාණ්ඩ ලේඛනයට අනුව මෙම චිත්‍ර සංඛ්‍යාව තහවුරු වුවත්, එම තොග පොතද මේ වන විට අස්ථානගත වී තිබීම විමර්ශනවලට බාධාවක් වී ඇත.
මීට අමතරව, 1999 වසරේදී කලා භවනේ තිබූ චිත්‍ර 63ක් ‘අබලි චිත්‍ර’ ලෙස සලකා රුපියල් 1500ක සුළු මුදලකට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ සඳහා ද නිසි ලේඛනගත කිරීමක් නොමැති වීම විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක්ව තිබෙනවා. මීට අමතරව, විදේශීය චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා රැගෙන ගිය චිත්‍ර කිහිපයක් නැවත කලා භවනට භාර දී නොමැති බවටද තොරතුරු ලැබී ඇති අතර, මෙම සියලු සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
2023 වසරේදී මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණද, මේ දක්වා එම චිත්‍රවලට වූ දේ පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබීම කනගාටුදායක තත්ත්වයකි.














