තලවකැලේ, ලිදුල පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේදී කාන්තාවක ගෙල සිරකර ඝාතනය කර පලාගොස් සිටි සැකකරු වසර තුනකට පසු අත්අඩංගුවට ගැනීමට මධ්‍යම පළාත් විශේෂ විමර්ශන ඒකකය සමත් විය. අලුත්ගම ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජූනි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඝාතනයට ලක්වූ තංගල්ල, කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ජුනයිඩ් ක්‍රිෂාණි නැමැති 36 හැවිරිදි කාන්තාවකි. ඇයගේ වම් අතෙහි තිබූ පච්චයක් මගින් ඇයගේ සැමියා විසින් මළසිරුර හඳුනාගෙන තිබුණි.
සැකකරු හෝමාගම පදිංචි 44 හැවිරිදි මහේෂ් අකලංක ද සොයිසා නැමැත්තෙකි.
සැකකරු සහ ඝාතනයට ලක්වූ කාන්තාව අතර අනියම් සම්බන්ධතාවක් තිබී ඇත. විනෝද චාරිකාවක් යන මුවාවෙන් කාන්තාව නානුඔය ප්‍රදේශයට කැඳවාගෙන විත්, පසුදින ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණට ගොස් ජර්සියකින් ගෙල සිරකර ඇයව ඝාතනය කර ඇත. තමන්ව විවාහ කර ගන්නා ලෙස කාන්තාව විසින් කරන ලද බලපෑම් මත ඇයව ඝාතනය කළ බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
සැකකරු පිළියන්දල ප්‍රදේශයේදී තවත් කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද පොලිසියට අවශ්‍යව සිටින පුද්ගලයෙකු බව වාර්තා වේ. ලිදුල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














