වර්තමානයේ ශාසනය මුහුණ දී ඇති බරපතල අභියෝග හමුවේ බුදු දහමේ චිරස්ථිතිය සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා වහාම “ශාසන ශෝධන” වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
අදාළ ලිපිය මගින් ඇය අවධාරණය කරන්නේ බුදු සසුන ඉතිහාසයේ කවරදාකටත් වඩා අර්බුදකාරී තත්ත්වයක පවතින බැවින්, ධර්ම සංගායනාවක් කැඳවා ශාසනික ගැටලු විසඳා ගැනීමට මහානායක හිමිවරුන් වහාම පෙරමුණ ගත යුතු බවයි.
තම ලිපිය මගින් ඇය සිහිපත් කරන්නේ 1956 බණ්ඩාරනායක පාලන සමයේ මෙන්ම, තම පාලන කාලය තුළදීත් අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ මැදිහත්වීමෙන් ධර්ම සංගායනාවක් පැවැත්වීමට උත්සාහ කළ ද, සසුනේ අර්බුදවලින් වරප්‍රසාද ලබන ඇතැම් පාර්ශ්වයන්ගේ විරෝධය හේතුවෙන් එම උත්සාහයන් අසාර්ථක වූ බවයි. හුදකලා සිදුවීම් පාලනය කිරීමෙන් පමණක් සැබෑ අර්බුදය නොවිසඳෙන බව පවසන ඇය, මේ සඳහා පුළුල් අභ්‍යන්තර සංවාදයක් සහ කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් අවශ්‍ය බව පෙන්වා දෙයි.
මෙම ඓතිහාසික කාර්යභාරය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට සහ දිවයිනේ ජ්‍යෙෂ්ඨ ගිහි බෞද්ධ නායකයින් කණ්ඩායමක් සමඟ එක්ව උපරිම දායකත්වය ලබා දීමට තමන් සූදානම් බවද හිටපු ජනාධිපතිනිය සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.














