ශ්‍රී ලංකා පොලීසියේ නාමය යොදා ගනිමින් දිවයින පුරා රියදුරන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව පොලිස් මාධ්‍ය අංශය ජනතාව දැනුවත් කර තිබෙනවා. CCTV දර්ශන මඟින් රථවාහන වැරදි සිදු කර ඇති බව පවසමින් රියදුරන්ගේ ජංගම දුරකථන වෙත ව්‍යාජ කෙටි පණිවිඩ සහ වට්ස්ඇප් පණිවිඩ යොමු කරමින් මෙම වංචාව සිදු කරන බවයි වාර්තා වන්නේ. මෙවැනි පණිවිඩ හරහා ලැබෙන සබැඳි (Links) භාවිතා කිරීමෙන් හෝ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් තම බැංකු ගිණුම්වල මුදල් සොරකම් කිරීමට වංචනිකයින් උත්සාහ දරන බව පොලිසිය අවධාරණය කරනවා. එබැවින් පොලිසියෙන් බව පවසමින් නාඳුනන අංකවලින් ලැබෙන මෙවැනි සැක සහිත පණිවිඩ කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, එවැනි පණිවිඩවලට නොරැවටී වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ බලධාරීන්ට දැනුම් දෙන ලෙසත් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.













