වේගයෙන් වෙනස් වන ගෝලීය වෙළෙඳපොළට ගැළපෙන කුසලතා පදනම් කරගත් ශ්‍රම බලකායක් බිහි කිරීමේ අරමුණින් ‘Micro-Credentials’ හෙවත් ක්ෂුද්‍ර අක්ත පත්‍ර පිළිබඳ ජාතික රාමුවක් සකස් කිරීමේ දෙදින වැඩමුළුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදී අවධාරණය කෙරුණේ සම්පූර්ණ උපාධි පාඨමාලාවකට වැය වන කාලය හෝ මුදල් වැය නොකර, වෘත්තිකයන්ට තම කුසලතා ඉක්මනින් ඉහළ නංවා ගැනීමට මෙම ක්‍රමවේදය මහත් පිටුවහලක් වන බවයි. දරුවන් වෘත්තීන් කිහිපයකට පමණක් සීමා කරන දෙමාපියන්ගේ ආකල්ප වෙනස් විය යුතු බවත්, අධ්‍යාපන පද්ධතිය තුළ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් නම්‍යශීලී බවක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා. වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය යනු වෙනත් විකල්පයක් නැති තැන තෝරා ගන්නා දෙයක් නොව, ගුණාත්මකභාවයෙන් ඉහළ ක්ෂේත්‍රයක් බවට පත් කිරීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළා. සාම්ප්‍රදායික විෂයමාලාවලට වඩා වේගයෙන් කර්මාන්ත ක්ෂේත්‍රය පරිවර්තනය වන වටපිටාවක, ශ්‍රම බලකායේ නිපුණතා පරතරය පියවීම සඳහා මෙවැනි කෙටි කාලීන හා ප්‍රායෝගික ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ද පැහැදිලි කර සිටියා. පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් මණ්ඩලය (COL) සහ අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වී සිටියා.














