2022 වසරේ ජූලි මස 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී දේපළවලට හානි කිරීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි කාශ්‍යප හිමි ඇතුළු සැකකරුවන් හය දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (27) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
පොලිසිය විසින් අධිකරණයට වාර්තා කළේ මෙම සැකකරුවන් දැනට ඔවුන් ලබා දී ඇති ලිපිනයන්හි නොමැති බවයි. මෙම නඩුවේදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ඡායාරූප හඳුනාගැනීමේ පරීක්ෂණයට අදාළ වාර්තාව පසුගිය ජනවාරි මස 28 වැනිදා ලැබී ඇති බවත්, ඊට අදාළව රස පරීක්ෂකවරයා යෝජනා කිහිපයක් යොමු කර ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
සිද්ධියට අදාළ නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව, ප්‍රවීණ නිළි දමිතා අබේරත්න, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහ වසන්ත සමරසිංහ මහතා ඇතුළු ඇප මත මුදා හැර සිටින සැකකරුවන් 43 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.














