ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) තාක්ෂණික සහයෝගය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡාවක් අමාත්‍ය උපාලි පන්නිල මහතා සහ එම අරමුදලේ නියෝජිතයින් අතර පැවැත්විණි. මෙම සාකච්ඡාව ඊයේ (27) අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු විය.
මෙම හමුවේදී වැඩිහිටි පුද්ගලයන් සඳහා වන මහලේකම් කාර්යාලය සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන මහලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් දැනුවත් කිරීමට අමාත්‍යාංශය පියවර ගත්තේය. එහිදී වැඩිහිටි තැනැත්තන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ගික සැලැස්ම සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට ජනගහන අරමුදල එකඟතාව පළ කළේය.
එමෙන්ම වේගයෙන් වැඩිවන වැඩිහිටි ජනගහනය සහ උපත් අනුපාතය අඩුවීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා අවශ්‍ය දත්ත සහ පර්යේෂණ පැවැත්වීමට තම ආයතනයට හැකියාවක් ඇති බවත් එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් පෙන්වා දුන්නේය. ඉදිරියේදී රජය මගින් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවට පැමිණියහ.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හා මාලදිවයිනේ අධ්‍යක්ෂ Mr. Phuntsho Wangyel ඇතුළු නියෝජිත පිරිසක් සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.














