අමෙරිකාව සහ ඉරානය අතර උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල යළිත් ඉහළ ගොස් තිබේ. අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවට ඉරාන හමුදා අනතුරු ඇඟවීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.
මෙම තත්ත්වය හමුවේ බොරතෙල් මිල සියයට 3කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 3.75කින් ඉහළ ගොස් ඩොලර් 97.8ක් ලෙස සටහන් විය. අමෙරිකාව සහ ඉරානය සාකච්ඡා සඳහා යොමුවීමට සූදානම්ව සිටි පසුබිමක යළි දෙපාර්ශ්වය අතර මෙවැනි ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ.
අද අලුයම් කාලයේ ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ බවට ඉරානය ප්‍රකාශ කර තිබුණ ද, එම ප්‍රහාර එල්ල වූ නිශ්චිත ස්ථාන පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත්, ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර කිහිපයක් වැළැක්වීමට කටයුතු කළ බව කුවේට් ආරක්ෂක අංශ පවසයි.














