කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී දුම්රියක ගැටීමෙන් අද (28) සාලියපුර ප්‍රදේශයේදී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සාලියපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදරු මවකි. ඇය ස්වයං රැකියාවක නිරතව සිටි අයෙකු වන අතර, අනුරාධපුර ප්‍රදේශයේ වෙළෙඳසැලකට ගොස් යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම දුම්රිය හරස් මාර්ගය අනාරක්ෂිත එකක් බවත්, එහි දුම්රිය ගේට්ටු හෝ ගේට්ටු කරුවෙකු නොමැති බවත්ය. එසේම දුම්රිය මාර්ගය දෙපස වංගු සහිත වීම නිසා මාර්ගයට පිවිසෙන තෙක් දෙපස නොපෙනෙන බවද ඔවුන් පෙන්වා දෙයි. ඉදිරියේදී සිදුවිය හැකි මෙවැනි මාරක අනතුරු වළක්වා ගැනීම සඳහා අදාළ බලධාරීන් කඩිනමින් නිසි පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටී.
















