කළු ගඟ ද්‍රෝණියේ ජල මාපකවල දත්ත විශ්ලේෂණයට අනුව, අද (29) දහවල් 10.00 සිට ඉදිරි පැය 48ක කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබී ඇති සැළකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපෑ හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් කුඩා ගඟ හා මගුර ගඟ ආශ්‍රිත පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ද සඳහන් වේ. මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසත්, එම ප්‍රදේශවල පදිංචිකරුවන් සහ මාර්ග භාවිතා කරන රියදුරන් වඩාත් සුපරීක්ෂාකාරී වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
















