මෙරට ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ මහා පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්රයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Sunshine Holdings PLC) සමාගම 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය (FY26) තුළ සිය ඒකාබද්ධ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 11.2%ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කරමින් රුපියල් බිලියන 65.9ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව තිබේ. සෞඛ්‍ය සේවා (Healthcare) අංශයේ සිදුවූ අඛණ්ඩ වර්ධනය, පාරිභෝගික භාණ්ඩ (Consumer) අංශයේ සාර්ථක ගම්‍යතාවය සහ කෘෂිකාර්මික (Agribusiness) අංශයේ ඉහළ දායකත්වය මෙම ආදායම් වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත. සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ පවතින සුවිශේෂී මිල පාලන පීඩනයන් හේතුවෙන් ලාභදායීත්වයට යම් බලපෑමක් එල්ල වුවද, සිය විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ශක්තිය මත සමූහයේ සමස්ත මෙහෙයුම් ස්ථාවරත්වය සාර්ථකව පවත්වා ගැනීමට සමාගම සමත් විය.
සමූහයේ සමස්ත ආදායමෙන් සිංහ පංගුව එනම් 56.8%ක්ම උපයා දෙමින් විශාලතම දායකත්වය සපයා ඇත්තේ සෞඛ්‍ය සේවා (Healthcare) අංශය වන අතර, එය රුපියල් බිලියන 37.4ක ආදායමක් (14.9%ක වර්ධනයක්) වාර්තා කර ඇත. ඖෂධ නියෝජිතායතන, බෙදාහැරීම් සහ වෛද්‍ය උපකරණ අලෙවිය මීට බලපෑ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) මිල සංශෝධන යාන්ත්‍රණය යටතේ ඖෂධවල උපරිම සිල්ලර මිල පහත දැමීම හේතුවෙන් මූල්‍ය වර්ෂයේ අවසාන භාගයේදී මෙම අංශයේ ලාභ තීරූ (Margins) කෙරෙහි පීඩනයක් එල්ල විය. එමෙන්ම, රජයේ මිලදී ගැනීමේ ඇණවුම් සඳහා අඩු මිල ගණන් පැවතීම හේතුවෙන් ලීනා මැනුෆැක්චරින් (Lina Manufacturing) ආයතනයේ ආදායම 5.1%කින් පහත වැටී තිබේ. කෙසේ වුවද, සන්ෂයින් ෆාමසියුටිකල්ස් 24.4%ක ද, හෙල්ත්ගාඩ් බෙදාහැරීම් ජාලය 25.2%ක ද, සන්ෂයින් මෙඩිකල් ඩිවයිසස් 12.3%ක ද සහ හෙල්ත්ගාඩ් ෆාමසි සිල්ලර ජාලය 11.3%ක ද වශයෙන් ඉහළ ආදායම් වර්ධනයක් සනිටුහන් කර ඇත.
සමූහයේ සමස්ත ආදායමට 28.9%ක දායකත්වයක් ලබා දුන් පාරිභෝගික භාණ්ඩ (Consumer) අංශය 2.8%ක වර්ධනයක් සමඟින් ස්ථාවර මට්ටමක පවතී. එහිදී වටවල, සෙස්ටා සහ රන් කහට වැනි සන්නාමයන්ගෙන් සමන්විත තේ පෝට්ෆෝලියෝව 7.6%ක ආදායම් වර්ධනයක් ද, විස්කෝතු සහ වේෆර්ස් ඇතුළත් රසකැවිලි අංශය 8.5%ක ආදායම් වර්ධනයක් ද ලබා ගෙන ඇත. විශේෂයෙන්ම සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම විසින් යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය වෙත කුළුබඩු, පොල් නිෂ්පාදන සහ තේ අපනයනය කරනු ලබන Joint Agri Products Ceylon (JAPC) සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය මෑතකදී අත්පත් කර ගැනීම හරහා සිය අගය එකතු කළ අපනයන වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. සන්ෂයින් ටී අපනයන අංශයේ ආදායම රුපියල් අගයෙන් 4.8%ක සුළු පහත වැටීමක් පෙන්නුම් කළ ද, එහි අපනයන ධාරිතාවය 8.1%කින් ඉහළ ගොස් ඇත.
වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (Watawala Plantations PLC) සමාගම නියෝජනය කරන කෘෂිකාර්මික (Agribusiness) අංශය 18.9%ක විශිෂ්ට ආදායම් වර්ධනයක් අත්කරගෙන ඇති අතර, ඊට තදින්ම දායක වී ඇත්තේ පාම් ඔයිල් (Palm Oil) ව්‍යාපාරයයි. ඉහළ විකුණුම් ධාරිතාවය සහ වෙළෙඳපොළ මිල ගණන් මත පාම් ඔයිල් අංශය රුපියල් බිලියන 8.4ක ආදායමක් (23.6%ක වර්ධනයක්) සනිටුහන් කරමින් රුපියල් බිලියන 2.6ක ශුද්ධ ලාභයක් (PAT) උපයා දී තිබේ. කෙසේ වෙතත්, කිරි නිෂ්පාදන (Dairy) අංශයේ ආදායම අඩු විකුණුම් හේතුවෙන් 8.2%කින් පහත වැටී ඇත.
මූල්‍ය වර්ෂය අවසානයේ සන්ෂයින් සමූහයේ දළ ලාභය 6.7%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 19.0ක් ලෙස සටහන් වන අතර, බදු පසු ශුද්ධ ලාභය (PAT) රුපියල් බිලියන 5.0ක් ලෙස සටහන් වේ. එය පෙර වසරට වඩා 2.5%ක සුළු අඩුවීමකි. සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතසිවම් මහතා ප්‍රකාශ කර සිටින්නේ, හෙල්ත්කෙයාර් අංශයේ මිල පීඩනයන් පැවතිය ද ව්‍යාපාරික විවිධාංගීකරණය තුළින් ස්ථාවරත්වය රැකගත් බවත්, ඉදිරියේදී දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් සහ JAPC සමාගම හරහා අපනයන වෙළෙඳපොළ ජයගනිමින් කොටස්කරුවන්ට ඉහළ තිරසාර වටිනාකමක් අඛණ්ඩව ලබා දෙන බවත්ය.















