ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේශසීමාව හරහා නීතිවිරෝධී ලෙස ඇතුළු වන බවට සැක කෙරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ පිටුවහල් කිරීමට ප්‍රාන්ත බලධාරීන්ට බලය ලබා දෙන නීතියක් බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණය විසින් අවසර ලබා දී තිබේ. නිව් ඕර්ලියන්ස් පදනම් කරගත් 5 වැනි එක්සත් ජනපද අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන්නේ මීට පෙර පහළ අධිකරණයක් විසින් මෙම නීතිය බලාත්මක කිරීම අත්හිටුවමින් නිකුත් කර තිබූ තහනම් නියෝගයක් ඉවත් කරමිනි. මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් මෙම නීතියට එරෙහිව ගොනු කර තිබූ නඩුවකදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් වූ අතර ඒ අනුව ටෙක්සාස් ප්‍රාන්තයේ නිලධාරීන්ට සිය බලතල භාවිත කරමින් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවස්ථාව උදාවී ඇත. මෙම තීරණයත් සමඟ ඉදිරියේදී ටෙක්සාස් දේශසීමා ආශ්‍රිතව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය වඩාත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















