වියට්නාමය තුළ පවතින බුද්ධිමය දේපළ ආරක්ෂණ ප්‍රතිපත්ති සහ ඒවා බලාත්මක කිරීමේ ක්‍රියාවලියේ අසාධාරණකම් පිළිබඳව අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් විශේෂ වෙළඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ. අමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය පවසන පරිදි මෙම පියවර හේතුවෙන් අනාගතයේදී වියට්නාම ආනයන සඳහා නව තීරුබදු හෝ වෙනත් වෙළඳ සීමාවන් පැනවීමට ඉඩකඩ පවතී. පසුගිය අප්‍රේල් 30 වැනි දින අමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය විසින් බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීමේ ගැටලු විසඳීමට අපොහොසත් වීම හේතුවෙන් වියට්නාමය ප්‍රමුඛ රටක් ලෙස හඳුනා ගන්නා ලදී. අමෙරිකානු වෙළඳ නියෝජිත ජේමියසන් ග්‍රීර් මහතා පවසන්නේ වියට්නාමය මෑත වසරවලදී යම් යම් පියවර ගෙන තිබුණ ද, තවමත් පවතින බුද්ධිමය දේපළ උල්ලංඝනය කිරීම් හේතුවෙන් අමෙරිකානු නවෝත්පාදකයන්ගේ සහ නිර්මාණකරුවන්ගේ තරඟකාරී ස්ථාවරයට හානි සිදුවන බවයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් ජූලි 2 වැනිදා දක්වා මහජන අදහස් විමසීම සඳහා අමෙරිකානු බලධාරීන් අවස්ථාව සලසා දී තිබේ.
















