වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල නාගරික සංවර්ධන කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරියේ නව උප ප්‍රාදේශීය කාර්යාලයක් ඊයේ (29) විවෘත කෙරිණි. සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්යාලය විවෘත කළ අතර, ඉදිකිරීම් සඳහා අවශ්‍ය මූලික සැලසුම් අනුමත කිරීම, සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදේශන සේවා සැපයීම සහ නාගරික සැලසුම්කරණ කටයුතු ඇතුළු මහජන සේවා රැසක් මෙම කාර්යාලය හරහා ජනතාවට පහසුවෙන් ලබාගත හැකිය.
රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට සමගාමීව, 2030 වසර වන විට වවුනියාව නගරය උතුරු පළාතේ ප්‍රධාන වෙළඳ සහ වාණිජ කේන්ද්‍රය මෙන්ම උතුරු පළාතට පිවිසෙන ප්‍රධාන දොරටුව ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව, මන්නාරම නගරය සහ වෙරළ කලාපය කේන්ද්‍ර කරගනිමින් සංචාරක සහ ආර්ථික සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්. කේ. හේමචන්ද්‍ර, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනගේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.
















