එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ජුනි මාසයේ ඉන්ධන මිල අඛණ්ඩව සිව්වන මාසයටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අප්‍රේල් මාසයේදී ඩොලර් 99 ක් ලෙස පැවති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල මැයි මාසය වන විට ඩොලර් 103 ක් දක්වා ඉහළ යාම මීට ප්‍රධාන හේතුව වී තිබේ.
ගෝලීය තෙල් මිල මෙලෙස තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ ලොව වැදගත්ම බලශක්ති නැව් මාර්ගයක් වන ‘හෝමූස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) ආශ්‍රිතව පවතින අර්බුදකාරී තත්ත්වයයි. සමස්ත ගෝලීය තෙල් හා ඉන්ධන සැපයුමෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන අතර, මෑතකාලීනව කලාපය තුළ ඇති වූ බාධා කිරීම් සහ නාවික සීමාවන් හේතුවෙන් නැව් ගමනාගමන කටයුතු තවමත් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැත. මාර්තු මාසයට සාපේක්ෂව පවතින ආතතිමය වටපිටාව තරමක් ලිහිල් වී තිබුණ ද, සැපයුම් ප්‍රවාහ සීමා වී පැවතීම නිසා ඉදිරියේදී ද ඉන්ධන වෙළඳපොළ මිල ගණන් ඉහළ යා හැකි බව වාර්තා වේ.
















