ශ්‍රී ලංකාවේ තදාසන්න දුම්රිය ජාලය නවීකරණය කිරීම සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය 2027 වසරේදී ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර ඇති අතර, මෙය ජනාධිපති උපදෙස් මත ක්‍රියාත්මක වන වැඩසටහනකි.
ව්‍යාපෘතියේ මූලික අවධානය යොමුවන්නේ හානි වූ දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය සේවාවක් හඳුන්වා දීමයි. සම්පූර්ණ ව්‍යාපෘතියේ පරිමාණය සහ පිරිවැය හේතුවෙන් මෙය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පළමු අදියර වශයෙන් 2027 වසරේ සිට කොළඹ කොටුව – රාගම (ප්‍රධාන මාර්ගය), කොළඹ කොටුව – පානදුර (වෙරළබඩ මාර්ගය) සහ මරදාන – මාකුඹුර (කැළණිවැලි මාර්ගය) යන ප්‍රධාන මාර්ග ඔස්සේ විදුලි දුම්රිය සේවා ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම පවතින දුම්රිය මාර්ග ‘ස්ටෑන්ඩර්ඩ් ගේජ්’ (4 feet 8.5 inches) ප්‍රමිතියට උසස් කරමින්, නායයෑම් සහ කාලගුණික අවදානම් අවම කිරීම සඳහා බෑවුම් ආරක්ෂණ පියවර සහ ජල අපවහන පද්ධති ද වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත.
මෙම නවීකරණ වැඩසටහන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට වසර 10 සිට 15 දක්වා කාලයක් ගතවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. කෙසේ වෙතත්, ප්‍රමුඛතා මාර්ගවල විදුලි දුම්රිය සේවා ස්ථාපිත කිරීමේ මූලික අදියර ඉදිකිරීම් ඇරඹී වසර 3-4ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂිතයි. මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ නගරයට දෛනිකව පැමිණෙන මගීන් සඳහා කාර්යක්ෂම සහ පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් ලබා දීමත්, මාර්ග තදබදය අඩු කිරීමත් අරමුණු කෙරේ.
















