ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාව සමඟ නව ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමකට (BTA) එළඹීමට තමන් තුළ පවතින දැඩි කැමැත්ත සහ විශ්වාසය ප්‍රකාශ කර තිබේ. ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම “හොඳ මිතුරෙකු” වන බැවින්, දෙරට අතර පවතින ගැටලුවලට සාර්ථකව විසඳුම් සොයා ගනිමින් ඉතා ඉක්මනින් මෙම වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට හැකි වනු ඇති බවයි. “අපි අනිවාර්යයෙන්ම එකඟතාවකට පැමිණෙනවා, මොකද මම ඔබේ අගමැතිවරයාට ගොඩක් කැමතියි” යනුවෙන් ට්‍රම්ප් එහිදී පවසා ඇත.
බලහත්කාර ශ්‍රමිකයන් භාවිතයෙන් භාණ්ඩ නිපදවන බවට චෝදනා කරමින්, ඇමරිකාව විසින් ඉන්දියාව ඇතුළු රටවල් 60 කට අලුතින් 12.5% ක අතිරේක බද්දක් පැනවීමට මෑතකදී යෝජනා කර තිබුණි. එවැනි බදු තර්ජන මධ්‍යයේ වුවද, මෙම වෙළඳ ගිවිසුම සාර්ථක කර ගැනීමට ට්‍රම්ප් සුබවාදීව පසුවේ. ඉන්දියාව මීට පෙර ඇමරිකානු භාණ්ඩ සඳහා අධික බදු අය කරමින් ඇමරිකාවෙන් අයුතු ප්‍රයෝජන ගත් නමුත්, දැන් එම තත්ත්වය වෙනස් වී ඇති බව ද ඔහු මතක් කර තිබේ.
BBC පුවත් සේවය වාර්තා කරන පරිදි, ප්‍රධාන ඇමරිකානු සාකච්ඡාකරු බ්‍රෙන්ඩන් ලින්ච්ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් නවදිල්ලියේදී දින තුනක සාකච්ඡා වටයක් සාර්ථකව අවසන් කර ඇත. මෙම ද්විපාර්ශ්වික ගිවිසුමේ රාමුව යටතේ ඉදිරි වසර 5 තුළ ඇමරිකාවෙන් ඩොලර් බිලියන 500 ක බලශක්ති, තාක්ෂණික සහ ආරක්ෂක භාණ්ඩ මිලදී ගැනීමට ද ඉන්දියාව එකඟ වී තිබේ.
















