ඉන්දියාවේ අධ්‍යාපන පද්ධතියම අර්බුදයකට යවමින් මිලියන සංඛ්‍යාත සිසුන්ගේ අනාගතය අඳුරු කළ NEET විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ මහා පරිමාණ දූෂණයට එරෙහිව, නවදිල්ලියේ ජන්තර් මන්තර් පිටිය රත් කරමින් දැවැන්ත ශිෂ්‍ය විප්ලවයකට නායකත්වය දෙන “අභිජිත් දිප්කේ” (Abhijeet Dipke) පිළිබඳව මේ වන විට සමස්ත දකුණු ආසියාවේම දැඩි අවධානයක් යොමුව තිබේ. ඇමරිකාවේ සුපිරි ජීවිතය සහ බොස්ටන් විශ්වවිද්‍යාලයෙන් (Boston University) හිමිවූ ඉහළ වෘත්තීය අවස්ථා එකහෙළා ප්‍රතික්ෂේප කරමින්, මෝදි රජයට එරෙහිව සටන් වැදීමට මව්බිමට පැමිණි මෙම තරුණයා කවුදැයි සෙවීමට බොහෝ දෙනා පෙළඹී සිටිති.
වයස අවුරුදු 26ක් වන අභිජිත් දිප්කේ යනු ඉන්දියාවේ සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් මිදී සමාජ මාධ්‍ය හරහා මිලියන 22කට අධික තාරුණ්‍යයේ බලවේගයක් ගොඩනැගූ “කොක්‍රෝච් ජනතා පක්ෂයේ” (Cockroach Janta Party – CJP) නිර්මාතෘවරයායි. පද්ධතියේ පවතින දූෂණය සහ අක්‍රමිකතා හමුවේ සාමාන්‍ය ජනතාව කැරපොත්තන් මෙන් පෑගී විනාශ වන බවත්, නුදුරේදීම මෙම “කැරපොත්තන්ගේ ව්‍යාපාරය” (Cockroach Movement) හරහා පාලකයන්ට එරෙහිව දැවැන්ත සමාජ විප්ලවයක් සිදුකරන බවත් පවසමින් ඔහු ඉන්දීය තරුණ පරපුර අතර දැවැන්ත ආකර්ෂණයක් දිනාගත්තේය.
ගුවන් තොටුපළෙන් බැස කෙළින්ම දිල්ලි වීදි සටනට අවතීර්ණ වූ අභිජිත්, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර්ගේ ස්වයං චරිතාපදාන ග්‍රන්ථය (My Autobiography) අතැතිව පැමිණියේ තමන් කිසිදු බියකින් තොරව නීතියේ රාමුව තුළ සිටිමින් මධ්‍යම අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් පන්නා දමන තෙක් මෙම සටන අත්නොහරින බව සපථ කරමිනි. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ විදේශයන්හි වෙසෙන බුද්ධිමත් ඉන්දීය තරුණ ප්‍රජාව මෙලෙස රටේ අර්බුද වෙනුවෙන් සෘජුවම වීදි බැසීම, මෝදි පාලනය ඉදිරියේදී මුහුණ දෙන අතිශය භයානකම දේශපාලන අභියෝගය වනු ඇති බවයි.
















