ඉතාමත් හදිසි මෙන්ම අත්‍යවශ්‍යම කරුණකදී හැරෙන්නට, රාජ්‍ය අංශයේ සේවකයන්ට එක දිගට විදෙස් සංචාර සඳහා අවසර ලබා නොදෙන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා විසින් සියලුම ආයතන ප්‍රධානීන්ට නියෝග කර තිබේ.
යම් යම් ආයතන ප්‍රධානීන් විසින් තමන්ට හිතවත් පිරිස් වෙත පමණක් මෙලෙස නිරන්තරයෙන් විදේශ සංචාරක අවස්ථා සලසා දෙන බවට අමාත්‍යවරයා වෙත තොරතුරු ලැබී ඇති අතර, මෙම දැඩි පියවර ගෙන ඇත්තේ එම තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
මේ අතර, පාර්ලිමේන්තුවේ සේවය කරන ඇතැම් නිලධාරීන් ඉතා කෙටි කාල පරාසයන් තුළ අවස්ථා කිහිපයකදීම විදේශගත වී ඇති බවට එහි සෙසු සේවකයෝ චෝදනා කරති. එකම පිරිසකට පමණක් මෙලෙස වරප්‍රසාද හිමිවීම හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව ද ඔවුහු පවසති.
කෙසේ වුවද, මෙම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු උසස් නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, විදේශීය පුහුණු වැඩසටහන් සහ අධ්‍යයන සැසි සඳහා නිලධාරීන් තෝරා ගනු ලබන්නේ සේවයේ ස්වභාවය හා කාලීන අවශ්‍යතාවන් මත පදනම්ව පමණක් බවයි. එහිදී කිසිදු අයුරකින් පෞද්ගලික හිතවත්කම් සලකා නොබලන බව ද ඔහු අවධාරණය කළේය.
රටේ පවතින මූල්‍ය හා ආර්ථික වටපිටාව සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ සංචාර සීමා කිරීමට රජය මීට පෙර ද උපදෙස් දී තිබුණි.
















