විදුලිය, ගෑස් සහ ඉන්ධන සඳහා අයකරන ගාස්තු අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තමන් සතු කර්මාන්ත අත්හැර දමා විදේශගත වීමේ සූදානමක පසුවන බව දේශීය ව්‍යවසායකයන් බලගැන්වීමේ සංවිධානය අනතුරු අඟවයි.
පවත්නා ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද කුඩා පරිමාණයේ නිෂ්පාදකයන් සිය නිපැයුම් වෙළෙඳපොළ වෙත ප්‍රවාහනය කරනු ලබන්නේ තමන් සතු කුඩා වාහන භාවිතයෙන් බැවින්, මෙම මිල ඉහළ දැමීම ඔවුන්ට සෘජුවම බලපාන බව එම සංවිධානයේ ලේකම් පුෂ්ප කුමාර කරුණාරත්න මහතා පවසයි. මේ නිසා මතුවන අතිරේක නිෂ්පාදන පිරිවැයෙහි බර පාරිභෝගික ජනතාව මත පැටවීම වැළැක්වීමට නම් රජය වහාම මැදිහත් විය යුතු බව ද ඔහු අවධාරණය කරයි.
ලේකම්වරයා වැඩිදුරටත් චෝදනා කර සිටියේ වත්මන් පාලනය බලයට පත් වූයේ පවතින ක්‍රමය වෙනස් කරන බවට පොරොන්දු වෙමින් වුවද, බලයට පත්වීමට පෙර ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් දැක්වූ අදහස් අද වන විට පාලකයන්ට අමතක වී ඇති බවයි. වත්මන් වටපිටාව තුළ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් ලාභයක් ඉපැයීම අතිශය දුෂ්කර වී ඇත.
දේශයේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙනයා හැක්කේ ව්‍යවසායකයන් ආරක්ෂා කිරීමෙන් පමණක් බව පෙන්වා දෙන ඔහු, රජය වහාම ක්‍රියාත්මක වී පනවා ඇති බදු ලිහිල් කරමින් ඉන්ධන මිලෙහි සහනයක් දේශීය ව්‍යාපාරික ප්‍රජාවට ලබා දිය යුතු බව පවසයි. එසේ නොමැති වුවහොත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙරට හැර දමා විදේශයන් වෙත සංක්‍රමණය වී, තමන් සතු වෘත්තීය දැනුම සහ ශ්‍රමය වෙනත් රටවල ප්‍රගතිය උදෙසා යෙදවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ද ඔහු අවධාරණය කළේය.
















