ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය නවීකරණය කිරීමේ අරමුණින්, වියළි කලාපයේ වී වගාව සඳහා දේශීයව සංවර්ධනය කරන ලද අතිනවීන කෘෂි ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වා දීමේ වැඩසටහනක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුකුලාව ප්‍රදේශයේදී පැවැත්විණි. CodeGen International ආයතනය විසින් පූර්ණ වශයෙන් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන ලද මෙම ඩ්‍රෝන යානා, බීජ සහ ඝන පොහොර ඉසීම සඳහා යොදා ගැනීමට නියමිත අතර, වර්තමානයේ ගොවි ක්ෂේත්රය මුහුණ දෙන දැඩි ශ්‍රම හිඟය සඳහා මෙය කාර්යක්ෂම සහ ප්‍රායෝගික විසඳුමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෘෂිකාර්මික නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, කාලය හා පිරිවැය ඉතිරි කිරීම මෙන්ම තරුණ පරපුර ස්මාර්ට් කෘෂිකර්මාන්තය වෙත ආකර්ෂණය කර ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු වේ. දැනට කිලෝග්‍රෑම් 3 සිට 5 දක්වා ධාරිතාවයකින් යුත් මෙම ඩ්‍රෝන යානා ඉදිරි මහ කන්නයේ සහ යල කන්නයේ වගා කටයුතු සඳහා ප්‍රායෝගිකව යෙදවීමට සැලසුම් කර ඇති අතර, ගොවි ජනතාවගේ අවශ්‍යතා මත ඉදිරියේදී කිලෝග්‍රෑම් 25 සහ 50 දක්වා ධාරිතාවයෙන් යුත් වැඩිදියුණු කළ යානා නිර්මාණය කිරීමටද අවධානය යොමු කර තිබේ. දේශීය තාක්ෂණික දැනුම සහ නවෝත්පාදනයන් ගොවි බිම් දක්වා ගෙන ඒම තුළින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට දායක වනු ඇත.
අනාගතයේදී මෙම තාක්ෂණය රටපුරා ව්‍යාප්ත කිරීම මඟින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් සිදුවනු ඇතැයි බලධාරීන් විශ්වාස කරයි. ආතර් සී. ක්ලාක් ආයතනය, කෘෂිකාර්මික විශේෂඥයින් සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය වන කෘෂිකර්මාන්තය නව තාක්ෂණික යුගයකට රැගෙන යාමේ වැදගත් පියවරකි. අති නවීන මෙවලම් ගොවි ජනතාව වෙත සමීප කිරීම මඟින්, උසස් තාක්ෂණික අත්දැකීම් සහිත “ස්මාර්ට් තරුණ ගොවි පරපුරක්” බිහි කිරීම තුළින් කෘෂි ක්ෂේත්රයේ ස්ථාවර සහ තිරසාර අනාගතයක් ගොඩනැගිය හැකි වනු ඇත.
















