පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොවිය යුතු බවත්, ඊට සම්බන්ධ සැබෑ වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන්ට නිසි දඬුවම් පැමිණවිය යුතු බවත් සමගි ජන බලවේගයේ (සජබ) මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
“වැරදිකරුවන් කවුදැයි තීරණය කිරීම දේශපාලනඥයන්ගේ වැඩක් නෙවෙයි”
මෙම ඛේදවාචකය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ආරම්භයේ සිටම ස්ථාවර මතයක සිටින බව පෙන්වා දුන් මහ ලේකම්වරයා, වැරදිකරුවන් කවුරුන්ද යන්න තීරණය කිරීමට දේශපාලනඥයන්ට නොහැකි බව අවධාරණය කළේය. ඒ සඳහා ස්වාධීන විමර්ශන අඛණ්ඩව ක්රියාත්මක විය යුතු අතර, එම නිල ක්රියාවලියට කිසිදු අයුරකින් බාධා කිරීමට තම පක්ෂය සූදානම් නැති බව ද ඔහු කියා සිටියේය.
දේශපාලන මෙවලමක් කර නොගන්න
වත්මන් රජය ජනතාවට වූ පොරොන්දු ඉටු කරමින්, පරීක්ෂණවලට බාධා නොකර සැබෑ වැරදිකරුවන් හෙළිදරවු කර වින්දිතයින්ට යුක්තිය ඉටු කළ යුතු බව මද්දුමබණ්ඩාර මහතා ප්රකාශ කළේය. මෙම සංවේදී සිද්ධිය දේශපාලන මෙවලමක් ලෙස යොදා නොගෙන විධිමත් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම වත්මන් රජයේ ප්රධාන වගකීමක් බව ද මහ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















