2022 වසරේ පැවති දැඩි ආර්ථික අර්බුදය හමුවේ කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් ලක්ෂ එකහමාරකට (150,000) ආසන්න පිරිසකට රුපියල් 3,500 බැගින් වවුචර්පත් බෙදාදීමේදී රුපියල් කෝටි 50කට ආසන්න මහා පරිමාණ මූල්‍ය දූෂණයක් සිදුව ඇති බව අනාවරණය වේ.
කොළඹ මහා නගර සභාවේ දූෂණ වංචා සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා විමර්ශනවලින් මේ බව හෙළි වී තිබේ.
මන්ත්‍රීවරුන්ගේ ‘ටෝකන්’ ක්‍රමයට කෝටි 50ක් බෙදලා
විධිමත් ක්‍රමවේදයකට අනුව සැබෑ අඩු ආදායම්ලාභීන් හඳුනා ගැනීමකින් තොරව, මෙම වවුචර්පත් ලබාදී ඇත්තේ ඇතැම් නාගරික මන්ත්‍රීවරුන් විසින් තමන්ට හිතවත් පිරිස් වෙත ලබාදුන් ‘ටෝකන්’ (Tokens) ක්‍රමයකට අනුව බව විමර්ශනවලදී තහවුරු වී ඇත. වවුචර්පත් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ලිපින සියල්ලම පාහේ ව්‍යාජ ඒවා බව ද හෙළි වී තිබේ.
කොළඹ වවුචරයෙන් රත්නපුරෙන් බඩු අරන්
කොළඹ නගරයේ ජනතාව සඳහා වෙන්කළ මෙම ඇතැම් වවුචර්පත් භාවිත කරමින්, කොළඹින් බොහෝ දුර බැහැර පිහිටි රත්නපුර වැනි ප්‍රදේශවල වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලදී ගෙන ඇති බව ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
















