කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කළ යුතු ආර්ථික මට්ටමේ සිටින කාන්තාවන් ඉලක්ක කරගත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබේ. ඊට සමගාමීව 2026 අයවැය යෝජනා යටතේ “කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන” සඳහා රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් වේ. මධ්‍යම මට්ටමේ ව්‍යවසායිකාවන් ඉහළ මට්ටමේ ව්‍යවසායිකාවක් බවට පත් කිරීම, දෙස් විදෙස් වෙළඳ පොළ අවස්ථා සැකසීම, මධ්‍යම ආදායම්ලාභී කාන්තාවන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම, රැකියා විරහිත තරුණියන් ව්‍යවසායකත්වයට යොමු කිරීම සහ හිංසනයේ වින්දිත කාන්තාවන් සවිබල ගැන්වීම වැනි ප්‍රතිඵල අරමුණු කරගනිමින් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත.
මේ අනුව ප්‍රතිලාභීන් කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගනිමින්, ජීවනෝපාය සංවර්ධනය සහ ව්‍යවසායකයෙකු ලෙස සංවර්ධනය කිරීම යන අපේක්ෂා ද්විත්වයම මුදුන්පත් කර ගැනීමට කටයුතු කෙරේ. මෙහිදී ‘දිවි සරණි’ සහ ‘දිරිය මං පෙත’ යන ව්‍යාපෘති හරහා වැන්දඹු හා කාන්තා ගෘහ මූලිකයින්, වතු, ධීවර, විදෙස් රැකියා නියුක්තික, ග්‍රාමීය සහ නාගරික යන සියලු ක්ෂේත්‍රවල කාන්තාවන් ආවරණය කිරීමට නියමිතය. එමෙන්ම ආපදා සහ අර්බුදවලට ලක් වූ මෙන්ම නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමවල බලපෑමට ලක් වූ කාන්තාවන් ආවරණය කිරීම සඳහා ද විශේෂ වැඩසටහන් සකස් කර තිබේ.















